බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි
( චාමර සම්පත් ) 2016-09-16 08:07:59
Comments - 0       Views - 1958

අද බිනර පුර පසළොස්වක පොහොය දිනයයි. ආගමික මෙන්ම ශාසනික වශයෙන්ද වැදගත් කටයුතු රාශියක්ම බිනර පුරපසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබේ.

බමුණු සමාජයේ පීඩනයන්ට හසු වී අසරණ වූ වනිතාවන්ගේ අඳුරු දිවියේ දොරගුළු විවරකර ඔවුන්ටද සැනසීම උදාකිරීමට දායක වූ පොහොය දිනයක් ලෙසද බිනර පොහොය හැඳින්වීමට පුළුවන.

කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ විසූ බුදුරදුන්ගේ පාද මූලයේ වැඳවැටුණු ප්‍රජාපතී ගෝතමිය බුදු සසුනේ පැවිදි වීමේ අවසරය පැතුවද එය ඉෂ්ට නොවීය.

නමුදු ප්‍රජාපතී ගෝතමී දේවිය සමග භද්දවග්ගිය කුමාරවරුන්ගේ බිසෝවරු පන්සියයක් දෙනා හිස මුඩුකොට කසාවත් පොරවා තම අධිෂ්ඨානය සඵල කරගැනීමට සැරසුණහ.

මේ පිළිබඳව අවධානය යොමු කළ ආනන්ද තෙරණුවෝ බුද්ධ මාතාව වූ ප්‍රජාපතී ගෝතමී දේවියගේ ඉල්ලීම බුදුරදුන්ට සැලකළහ. අෂ්ඨගරුධර්ම පිළිගන්නේ නම් පැවිද්දට අවසර ලබාදෙන බව එහිදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළහ.

මෙහෙණි සසුන ආරම්භ වීමත් සමගම කාන්තාවන්ගේ විමුක්ති මාර්ගය උදාවූ නිසා බිනර පොහොය සුවිශේෂී වැදගත්කමක් උසුලයි.

එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් නිධන්කර ඇති සේරුවිල මංගල මහා සෑයේ වර්ෂික පෙරහර පවත්වන්නේද, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු නිදන් කර තපස්සුභල්ලුක වෙළෙඳ දෙබෑයන් ඉදිකළ ගිරිහඬු සෑයේ වාර්ෂික පිංකමද යෙදී තිබෙන්නේ බිනර පොහොය දිනයේදීය. 

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...